තරු කිරණ - The Sinhala Astrology Software
සදිසි ලෝකයේ අදිසි මානය - Unseen factor of the seen world
2015-12-14 17:30:00 +0530

මෙවන් විචාරයක් කළ යුතුව ඇත්තේ අප වැනි ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංග නිපදවීමේ සිටින ආයතනයක් විසින් නොව තෙවන පාර්ශවයක් විසිනි. එසේ වුවත් මේ වසර 10 තුල ඒ ගැන ලියවී ඇත්තේ අවම වශයෙනි. ඒ අතරින් ඉතාමත් හොඳ මට්ටමේ සටහනක් “ලංකා ජ්‍යොතිෂ අරණ” නම් බ්ලොග් අඩවියේ සටහන් කොට ඇත. එම සටහනද මේ වන විට වසර පහක් පමණ පැරණි ය.

ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු බොහෝමයක් වේ. අපගේ අවබෝධය අනුව ඒවා එකිනෙක මෙහි සටහන් කරමු.

ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයේ නිවැරදි තාවය

පරිගණක මෘදුකාංගයක අංක එකටම වැදගත් කාරණාව වන්නේ එහි නිවැරදි තාවය යි. ප්‍රතිඵලය වැරදි නම් එයින් ඇති ප්‍රයෝජනයක් නැත. නමුත් ඔබ විසින් පරිගණක මෘදුකාංගයක නිවැරදි තාවය පරීක්ෂා කරන්නේ කෙසේද යන්න ගැන හොඳ වැටහීමක් ලබා ගත යුතුව ඇත. ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයක නිවැරදි තාවය පිරික්සීමට ප්‍රථම මෙම කරුණු ගැන ද සිහියේ තබා ගන්න.

  1. මෘදුකාංග සැලසුම්කරුගේ(System Architect) ජ්‍යෝතිෂ්‍යය සහ මෘදුකාංග නිර්මාණය පිලිබඳ ඇති දැනුවත් භාවය. ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයක නිවැරදිතාවයට ඍජුවම බලපාන්නේ මෙම කාරණය යි. ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංග සැලසුම්කරුට ජ්‍යෝතිෂ්‍යය මූලධර්ම ගැන නිසි අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඔහු/ඇය විසින් නිර්මිත මෘදුකාංගය අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා නොදීමට ඉඩ ඇත. ඔබට මෘදුකාංගය භාවිතා කිරීමේ දී ඇතිවන ගැටළුවකට අදාල පිළිතුර අවශ්‍යය විටක මෘදුකාංග නිර්මාණ ශිල්පියා ගෙන් අසා දැන ගත හැකි වන්නේ ඔහු එම ක්ෂේත්‍රය පිළිබඳව දැනුවත් නම් පමණි. යම් හෙයකින් මෘදුකාංගයේ දෝෂයක් ඇති බව හඳුනාගත්තද මෘදුකාංගයේ කේත රචකයාට එම දෝෂය ගැන වැටහීමක් ලබා දී එය නිවැරදි කරගැනීමට ද ඔහුගේ/ඇයගේ ජ්‍යෝතිෂ්‍යය ක්ෂේත්‍රය ගැන ඇති දැනුවත් කම ඔබට වැදගත් වෙයි. එසේම මෘදුකාංගය නිර්මාණය කිරීමේ දී එම පුද්ගලයා විසින් ජ්‍යෝතිෂ්‍යය ගණනය කිරීම් හා සැබැඳි ගණිතය සහ ග්‍රහ ගණිතය (planetary calculations) ගැන අවබෝධයක් ලබා තිබිය යුතු වන්නේය.

  2. ලිත සෑම විටම නිවැරදි නැත ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයේ ප්‍රතිඵලය සෑම විටම ලිතකින් ලබන ප්‍රතිඵලයට 100%ක් සමාන වන්නේ නැත. පැරණි ලිත් වල මුද්‍රණ දෝෂ බහුලව දක්නට ඇත. මුද්‍රණ දෝෂ නැතත් ලිතකින් ඔබ කේන්ද්‍ර සටහනක් සැකසීමේදී බොහෝ අවස්ථාවල වැටයීමේ දී ඇති කරන දෝෂයන් ඇත. එසේම ලිත් පොතක සටහන් කරන ලද ලග්නයක් සඳහා ගත කාලය සෑම දිනයකටම එක සමාන නොවන අතර මධ්‍යම රාත්‍රී කාලයට ආසන්න වෙත්ම එහි දෝෂය ඉහල යන බව ද සිහියේ තබා ගන්න.

  3. පරිගණක මෘදුකාංග ගැහැණු පිරිමි බව සලකා නවාංශකය වෙනස් කරන්නේ නැති බව මතක තබා ගන්න. ගැහැණු පිරිමි බව පදනම්කොට නවාංශකය වෙනස් විය යුතු බවට පවතින මතය නිසා ඇතැම් ජ්‍යෝතිෂ්‍යයවේදීන් උපන් වේලාව වෙනස් කර කේන්ද්‍ර සටහන සකස් කරයි. එසේම තවත් විටක ලබාදී ඇති උපන් වේලාව නිවැරදි නොවන බවට ජ්‍යෝතිෂ්‍යවේදීන් නිගමනය කර වේලාව නිවැරදි කර කේන්ද්‍රය සකසයි. වේලාව නිවැරදි කොට ඇත්නම් හෝ නවාංශකය අනුව ගැහැණු පිරිමි බව වෙනස් විය යුතු බව සිතයි නම් එම වේලාව ඇතුලත් කිරීම මගින් නැවත කේන්ද්‍ර සටහන ගණනය කළ යුතුය. (මූලික සිද්ධාන්ත ග්‍රන්තවලට අනුව ගැහැණු පිරිමි බව නවාංශකය මත පදනම්වන බවට සඳහනක් නැත. මෙය පසුකාලීනව ගොඩනගාගත් මතයකි.)

මිලදී ගැනීමට අදහස් කරන මෘදුකාංගය දැනට භාවිතා කරන අයගේ අදහස් සොයා බලන්න.

මෘදුකාංගය ගැන හොඳ තක්සේරුවකට ඒමට හැකිවෙන්නේ එය කලක් භාවිතා කිරීමෙන් පසුවය. එසේම එම මෘදුකාංගය දැනට භාවිතා කරන අයගේ අදහස් විමසීමේදී ඔවුන් අවංකව තම අදහස් ප්‍රකාශ කරන බවට සහතික කරගන්න. සමහර ජ්‍යෝතිෂ්‍යවේදීන් තමන් මෘදුකාංගයක් භාවිතා කරන බවට ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන අවස්ථා ද අප දැක ඇත. නමුත් සත්‍යය වශයෙන්ම ගිණුම් කරුවෙක් ඝනක යන්ත්‍රයක් (calculator) භාවිතා කිරීම ලැජ්ජාවට කරුණක් ලෙස නොදකින්නා සේ ජ්‍යෝතිෂ්‍යයවේදියෙක් තමන්ගේ කාලය ඉතිරි කර ගැනීම වෙනුවෙන් ද ඉතා නිවැරදි ගණනය කිරීමක් වෙනුවෙන් ද මෘදුකාංගයක් භාවිතා කරනවා යැයි පැවසීමට බිය විය යුතු නැත.

තමා භාවිතා කරන ක්‍රමවේදයට සහය දක්වන්නේ ද යන්න සොයා බලන්න.

ජ්‍යෝතිෂ්‍යය විශයේ විවිධ වූ පද්ධති විවිධ ජ්‍යෝතිෂ්‍යයවේදීන් විසින් අනුගමනය කරයි. උදාහරණයකට එක් ජ්‍යෝතිෂ්‍යයවේදියෙක් වේදීය ජ්‍යෝතිෂ්‍යය ක්‍රම භාවිතා කරන අතර තවත් ජ්‍යෝතිෂ්‍යයවේදියෙක් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය භාවිතා කරනවා විය හැක. ඔබගේ අවශ්‍යයතාවයන් එම මෘදුකාංගය මගින් කොතරම් දුරට ඉටු කරන්නේ ද යන බව සොයා බලන්න. ඔබගේ අවශ්‍යයතාවයට අනුව මෘදුකාංගයේ ගණනය කිරීම් සීරුමාරු කරගැනීමට හැකියාව ඇති බවට සහතික කරගන්න.

භාවිතා කිරීමේදී ඇති වන ගැටළු ඉක්මනින් නිරාකරණය කරගැනීමේ හැකියාව.

මෘදුකාංගයක් භාවිතා කරන අතර යම් යම් ගැටළු පැනනැගිය හැක. අවශ්‍යය ගණනය කිරීමක් නිවැරදිව කරගන්නා ආකාරය දැනුවත්වීමට අවශ්‍යය විය හැක. නව පරිගණකයකට මෘදුකාංගය ඇතුලත් කරගැනීමට යාමේදී ගැටළුවක් පැන නැගුනහොත් උදව් අවශ්‍යය වීමට පුළුවන. මේ වැනි අවස්ථාවක මෘදුකාංගය නිර්මාණය කරන පුද්ගලයා හෝ ආයතනය හෝ ඒ පිළිබඳ වගකීමක් ගන්නා අයෙකු සම්බන්ධ කරගැනීමට හැකි විය යුතුය.

නිපදවන ආයතනයේ හෝ පුද්ගලයාගේ වගවීම.

කොතරම් කාලයක් භාවිතා කරන ලද මෘදුකාංගයක වුවද අනාගතයේ දී කිසියම් හෝ හේතුවක් නිසා දෝෂයක් හටගන්නේ නැතැයි පැවසිය නොහැක. එවන් අවස්ථාවක අදාල මෘදුකාංගයේ දෝෂය කෙතරම් ඉක්මනින් නිවැරදි කර ගත හැකි ද යන්න සොයා බැලිය යුතුය.

මෘදුකාංගය කොතරම් කල් පවතී ද?

මෘදුකාංගය නිපදවන ආයතනය කොතරම් කල් පවතී ද? කොතරම් කාලයක් ඔවුන්ගේ සේවාව පවත්වාගෙන යන්නේ ද? කොතරම් කාලයක් ඔබට එම ආයතනයේ සේවාව ලබා ගත හැකි ද යන්න ගැන සොයා බලන්න. විටක වෙනත් රටකින් ආනයනය කරන මෘදුකාංගයක් වීමට ඉඩ ඇත. එවන් අවස්ථාවක ලංකාවේ සිටින නියෝජිත ආයතනය සහ නිෂ්පාදිත රටේ අදාල සමාගම හෝ පුද්ගලයන් කොතරම් කාලයක් මෘදුකාංග සේවය ලබා දීම සඳහා සූදානම් ද යන බව සොයා බලන්න. ශ්‍රී ලංකාවේ සිටින නියෝජිත ආයතනය තම සේවාවන් සැපයීම නතර කළහොත් මෘදුකාංගය ගැන පැනනගින ගැටළු ඔබට මුල් ආයතනය හා සම්බන්ධවී නිරාකරණය කළ හැකිද යන බව සොයා බැලිය යුතුය.

මෘදුකාංගයකින් ඔබ බලාපොරොත්තු නොවිය යුතු දේ

අවසාන වශයෙන් මෘදුකාංගයකින් ඔබ විසින් බලාපොරොත්තු නොවිය යුතු දේ ගැනත් සඳහන් නොකළහොත් මෙම සටහන අසම්පූර්ණ වේ. අත්දැකීමෙන් අප විසින් සමහර ජ්‍යෝතිෂ්‍යවේදීන් විසින් වැරදි ලෙස මෘදුකාංග මගින් බලාපොරාත්තු වන සේවාවන් කිහිපයක් ඇති බව අත්දැක ඇත.

  1. මෘදුකාංගය කුමන පඤ්චාඞග ලිතක් භාවිතයෙන් නිපදවන ලද්දක් ද? මේ ජ්‍යෝතිෂ්‍යවේදීන් විසින් අපගෙන් නිතර අසන්නට ලැබෙන ගැටළුවකි. ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංග මගින් ගණනය කිරීමේ දී පඤ්චාඞග ලිත් භාවිතා නොකරයි. නමුත් වර්තමාන කාලයේ දී පඤ්චාඞග ලිත් ගණනය කිරීම් සඳහා පරිගණක මෘදුකාංග භාවිතා කරන බව දැන ගත යුතුය.
  2. පඤ්චාඞග ලිතකින් ලැබෙන ප්‍රතිඵලයට 100% සමාන විය යුතු යැයි සැලකීම පඤ්චාඞග ලිතක් මගින් කේන්ද්‍ර සටහනක් සෑදීමේ දී ගණනය කිරීමේ දෝෂ, වැටයීම් දෝෂ, පඤ්චාඞග ලිත්වල ඇති මුද්‍රණ දෝෂ ආදිය තිබිය හැකි බව සැලකිය යුතුය. නිවැරදි ලෙස සකසන ලද පරිගණක මෘදුකාංගයක් මගින් මෙම තත්වයන් මගහැරෙන නිසා පඤ්චාඞග ලිතකින් ලැබෙන ප්‍රතිඵලයට 100% සමාන ප්‍රතිඵල පරිගණක මෘදුකාංගයක් මගින් ලැබෙන්නේ නැත. වෙනත් ලෙසකින් ප්‍රකාශ කරන්නේ නම්, පරිගණක මෘදුකාංගයෙන් ලිත් මගින් සිදුකරන වැරදීම් අවම කරන නිසා ලිතක් හා සැසඳිම නොකළ යුතුය. (මෙයින් පරිගණකයකින් ලැබෙන පිළිතුරකට හාත්පසින් වෙනස් පිළිතුරක් පඤ්චාඞග ලිත් මගින් ලැබෙන බවට වරදවා නොගත යුතුය. බොහෝ විට වෙනස්කම් සිදුවන්නේ ‘කලා’ හෝ ‘විකලා’ කිහිපයක් පමණි.)
  3. මෘදුකාංගයකින් පලාපල කථනය කළ හැකි බව සිතීම. ජ්‍යෝතිෂ්‍යය පලාපල කථනය සංකීර්ණ විශයකි. මෘදුකාංගයකින් නිවැරදි පලාපල කථනය කළ හැකි යැයි නොසිතිය යුතුය. අවශ්‍යය නම් මෘදුකාංගයක් මගින් ගෝචර පලාපලයක් හෝ ග්‍රහ යෝග පිළිබඳ සටහනක් හෝ ලබා දිය හැකි වුවත් එය පලාපලයක් ලෙස නොගත යුතුය.